Site icon Thambaru's Blog

ඔබ සමාජ ආශ්‍ර‍යට අකමැති කෙනෙක්දැයි හඳුනාගන්නේ මෙහෙමයි

ඔබ වැඩිය සමාජ ආශ්‍ර‍යට අකමැති කෙනෙක් නම් හෝ එවන් යහළුවන් දන්නවා නම් ඒ පිළිබඳ තේරුම් ගැනීම ඉතා වැදගත්. යහපත් සමාජයක් ගොඩ නැගීමේදී සමාජයේ තිබෙන විවිධ ආකාරයන් පිළිබඳව අපිට හඳුනාගැනීමට සිදුවෙනවා. ඕනෑම කෙනෙක් සමඟ ඉතා සුහදව සිටීමට එය උපකාරී වන අතර අන්‍යෝන්‍ය අවබෝධය හරහා දෙපාර්ශවයට ම ඉන් විශාල සහයෝගීතාවක් ඉන් ගොඩනගාගන්නට හැකිවෙනවා. Introvert හෙවත් අන්තර්වර්තික ගති ලක්ෂණ හඳුනාගැනීමටයි මේ සූදානම. බලන්න ඔබටත් මේ වගේ දේවල් තිබෙනවාද කියලා?

ඡායාරූපය introvertspring.com වෙතිනි

සමාජය ආශ්‍ර‍ය කිරීමේදී දැඩි ලැජ්ජාවකින් පසුවන අය අන්තර්වර්තිකයන් ලෙස බොහෝ දෙනෙක් මෙය වරදවා වටහා ගෙන තිබෙනවා. නමුත් ලැජ්ජාව කියන්නේ ඕනෑම කෙනෙක් සතුව පැවතිය හැකි දෙයක්. තරහ, හාස්‍යය, බය ආදී දේවල් මෙන් ම ලජ්ජාව කියන්නේත් හැමෝටම පොදු, විවිධ මට්ටම් අනුව පවතිමින් පෞරුෂත්වය ගොඩනගන දේවල්. ඉතින් මෙය නිවැරදිව බලද්දී එහි කොටස් හතරක් අපට දකින්න පුළුවන්. ඒ සමාජයීය, සිතුවිලිමය, පසුතැවිලි වන අය සහ මන්දගාමී වශයෙනුයි. මේවා එකක් හෝ කිහිපයක් පමණක් නොව සියල්ල ම වුවත් පදනම්ව පෞරුෂත්වය පවතින්නට පුළුවන්. එය සාමාන්‍යයි.

සමාජයීය

අන්තර්වර්තික ගුණාංග දරන්නන් හැම කෙනෙක් ම සමාජයට බිය හෝ සමාජයෙන් ඈත්ව සිටින්නට ප්‍රිය කරතියි කීම වැරදියි. අන් අය හා ආශ්‍ර‍ය ප්‍රිය කරන මොවුන් විශාල පිරිසක් මධ්‍යයේ විනෝදවීමට අකමැත්තක් දැක්වූවත් තමා වඩාත් කැමති ස්වල්ප දෙනෙක් සමඟ කටයුතු කරන්නට කැමතියි. ඊට තමාගේ ආදරණීයයන් (දෙමව්පියන්, ඥාතීන්, කලත්‍ර‍යා) හෝ වඩාත් ළඟින් ඇසුරු කරන යහළුවන් ඇතුලත් විය හැකියි.

සිතුවිලිමය

මෙය හරි අපූරු අවස්ථාවක්, හැකියාවක්. තම වටපිටාවේ මොනවා තිබුණත් තමන්ගේ ම ලෝකයක සිතුවිලි අතර තනිවෙලා අවශ්‍ය පරිදි දේවල් විඳිමින් ඔවුන්ට කාලය ගත කරන්න පුළුවන්. හරියට රෝමය ගිනිගනිද්දී නීරෝ වීණා වාදනය කළා වගේ. බාහිර ලෝකයෙන් ඈත්වෙලා තමන්ගේ ෆැන්ටසියට වෙලා නිදහසේ තමන්ට අවශ්‍ය ආකාරයෙන් සිදුවීම් මවමින් ඒවාට මුහුණ දෙමින් කාලය ගත කරන ඔවුන් බොහෝවිට නිර්මාණකරණයෙහිදී ද විශේෂ කුසලතා දක්වනවා.

පසුතැවිලි වන අය

මොවුන් සමාජයෙන් ඉවත්ව සිටින්නට උත්සාහ කරන්නේ එම අවස්ථාවලදී තමා ඔවුන් අතර නුසුදුස්සෙකැයි සිතමින් අපහසුතාවයට තමාවම පත්කරගන්නා නිසා යි. අනිත් අය විනෝද වෙද්දී කොන්වූ ස්වභාවයක් හඟිමින් මහා ජනකායක් මධ්‍යයේ වුවද ඔවුන්ට පාළුවක් තනිකමක් දැනෙනවා. ඒ වගේ ම තනිව සිටිනා විටදීත් ඔවුන් ඊට පෙර සිදුවූ දේවල්: තමාට වැරදුනු දෙයකට අනිත් අය හිනාවුණු අවස්ථා ආදිය සිහි කරමින් දුකෙන් කාලය ගෙවනවා.

මන්දගාමී අය

මෙය කම්මැලිකමක් ලෙස අර්ථ දැක්විය යුත්තක් නෙවෙයි. ඔවුන් දෙයක් කරන්නට, කියන්නට පෙර ඒ ගැන සිතන්නට වැඩි කාලයක් ගත කරනවා. නමුත් එය කිරීමේදී ඇතැම්විට වඩාත් වේගයෙන් කර නිමකළ හැකියි. උදාහරණයක් වශයෙන් ප්‍ර‍ශ්ණයක් ඇසූවිටදී, එයට පිළිතුරු දීමෙන් කුමන ආකාරයේ දේවල් සිදුවේවිද, අන් අයගේ සිත් රිදේවිද, තමා සිතන පතන ආකාරය දැන ගැනීමෙන් අනිත් අය මාව කොන් කරයිද ආදී වශයෙන් ඔවුන් ඒ ගැන සිතන්නට වැඩි කාලයක් ගන්නවා. අවසානයේ පිළිතුර ප්‍ර‍කාශ කිරීමේදී වඩාත් වේගයෙන් එය කියා අවසන් කර දමනවා.

ඔබටත් මේ වගේ ගතිගුණ හෝ එවන් දෑ තිබෙන මිතුරන් ඉන්නවා ඇති. ඒ අත්දැකීම් බෙදාගන්න, මේකට යමක් එක් කරන්නට කැමති නම් පහතින් කමෙන්ට් එකක් දාන්න. ?

Exit mobile version